නමෝ බුද්ධාය !!!
උතුම් තිසරණයෙන් අනන්ත ආනුභාවයෙන් ලක්දිවත් සියළු ජනයාත් ආරක්ෂා වීම පිණිස...
අපගේ භාග්‍යවතුන් වහන්සේ එදා විශාලා මහනුවර තුන්බිය දුරු කිරීම පිණිස උතුම් රතන සූත්‍රය ශ්‍රී මුවමඬලින් දේශණා කොට, පිරිත් පැන් ඉස ඒ රෝග බිය,අමනුෂ්‍ය බිය,දුර්භික්ෂ බිය දුරු කොට වදාළ බව ඒකාන්ත සත්‍යයයි.!!!
අපගේ භාග්‍යවතුන් වහන්සේගේ ද්‍රෝණයක් ශ්‍රී මුණි ධාතූන් වහන්සේලා තුන් ලොවටම එකම අසදෘශ්‍ය උත්තම සෑ රජුන් වන ස්වර්ණමාලී මහා සෑ ඝර්භයේ අනුපාදිසේස පරිනිර්වාණ ධාතුවෙන් සෘධියෙන් මැවුනු ශ්‍රී සම්බුදු සිරුර දරා වැඩසිටින බව ඒකාන්ත සත්‍යයයි.!!!
අප ගෞතම මුනිඳුන් එදා නේරංජනා නදිය අසබඩ වජිරාසනය මත වැඩ හිද දස මාර සේනා පරාජයට පත් කරමින් මහපොළොව කම්පා කරවමින් සම්බුදු බවට පත් වූ මොහොතේ අප මුනිඳුන්ට සෙවණ සැළසූ උතුම් විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝ සමිඳුන්, ඒ සම්බුදු අසිරිය දැකගත් බෝ සමිඳුන්, සම්බුදු නේත්‍රා කැල්මෙන් සතියක් පිදුම් ලද ඒ උත්තම බෝ සමිඳුන්ගේ දකුණු ශාකා වහන්සේ අදටත් විරාජමානව උඩමළුවේ වැඩ සිටින බව ඒකාන්ත සත්‍යයයි.!!!
එදා අප භාග්‍යවතුන් වහන්සේ ලක්දිවට වැඩම කළ මොහොතේ සුමන සමන් දෙව් නිරිඳුන්ගේ ආරාධනයෙන් සමනොල ගිරි හිස ඉන්ද්‍රනීල මානික්‍ය රත්නය මත දෙතිස් මහා පුරිස ලකුණින් බබළන, දහසක් අර ඇති චක්‍ර ලක්ෂණයෙන් ශෝභමාන ,රක්ත වර්ණ පැහැයෙන් බබළන උත්තම වාම ශ්‍රී පාද පද්මය පිහිටුවා වදාළ බව එ්කාන්ත සත්‍යයයි.!
පන්සාලිස් වසක් පුරාවට අප ගෞතම මුනිඳුන් උතුම් ශ්‍රී සද්ධර්මය දේශණා කරද්දී ඒ පරම පිවිතුරු පරම පාරිශුද්ධ වූ මුල,මැද,අග පරම පිවිතුරු වූ ශ්‍රී සද්ධර්මය ස්පර්ශ වූවා වූ උතුම් වාම ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ ඵෙතිහාසික සෙංකඩගල පුර ශ්‍රී දළදා මාළිගාවේ විරාජමානව වැඩ සිටින බව ඒකාන්ත සත්‍යයි.!!!
සසර පුරාවටම සත්‍ය වචන කතා කිරීමේ මහා පුන්‍යානුභාවට පිහිටියා වූ අප මුනිඳුනගේ උත්තම ඌර්ණ රෝම ධාතූන් වහන්සේ අෂ්ඨ වංක මානික්‍ය රත්නය මත මිහින්තලේ මහා සෑයේ විරාජමානව වැඩ සිටින බව ඒකාන්ත සත්‍යයයි.!!!
අප මුනිඳුනගේ දකුණු අකු ධාතූන් වහන්සේ උතුම් ථූපාරාම සෑ රජුන්ගේ උතුම් ධාතූ ගර්භයේ ද, දකුණු ශ්‍රී දළදා වහන්සේ සෝමාවතී මහ සෑයේ ද, උතුම් ග්‍රීවා ධාතූන් වහන්සේ, කේශ ධාතූන් වහන්සේ ද ඵෙතිහාසික මහියංගණ මහ සෑ රජුන්ගේ ද වැඩ සිටින බව ඒකාන්ත සත්‍යයි.!!!
අප මුනිඳුනගේ උතුම් ලලාට ධාතූන් වහන්සේ උත්තම සේරුවාවිල මහ සෑ රජුන්ගේ ධාතු ගර්භයේ ද, අප මුනිඳුනගේ මඟුල් කඩුව කතරගම කිරිවෙහෙර සෑ රජුන්ගේ ද වැඩ සිටින බව ඒකාන්ත සත්‍යයයි.!!!
තවත් අනේක ශ්‍රී ධාතූන් වහන්සේලා අප ලක්දිව සිසාරා වැඩ සිටින බව ද, උතුම් අෂ්ඨ ඵල, දෙතිස් ඵල බෝධීන් වහන්සේලා ද අප ලක්දිව තුල අදටත් මහා ආනුභාවය පතුරවමින් රැස් විහිදුවමින් සියළු ජනයාහට පිහිට ලබාදෙමින් වැඩ සිටින බව ඒකාන්ත සත්‍යයයි.!!!
අප ගෞතම මුනිඳුන්ගේ ශ්‍රාවක වූ සම්බුදු ළයමඬලින් උපන් ඔෟරස පුත්‍ර වූ ඒ මහා තෙද ඇති මහා බල ඇති මහා අනුකම්පා ඇති නම ඇසූ පමණින් යක්ෂයන්ට පවා දහඩිය දමනා අනන්ත ගුණ කඳක් දරා වැඩ සිට පිරිනිවී ගිය එනමුදු කල්පයක් පුරාවට මහා බල පවත්නා ලෙස අප මුනිඳුන් අධිෂ්ඨාන කල, ඒ උතුම් සත්‍යක්‍රියාව දේශණා කල අංගුලිමාල නම් වූ අප මුනිඳුනගේ ශ්‍රී ධාතූන් වහන්සේලා වැඩ සිටින බව සත්‍යයයි.! අදටත් ඒ පිහිට එලෙසින්ම ලැබෙන බව සත්‍යයයි.! ඒ උතුම් ශ්‍රී නාමය උදෙසා මහා සෑ රජාණන් වහන්සේ නමක් ඉදිවන බව ඒකාන්ත සත්‍යයයි.!!!
එසේම සාරිපුත්ත මහරහතන් වහන්සේගේ, මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේගේ තුන් ලොවට එකම එක ධාතූන් වහන්සේ වන ගෞතම බුදු සසුනේ තෘතීය මහා ශ්‍රාවක උත්තමයන් වහන්සේ වූ මහා කස්සප මුනිඳුන් ගේ, ආනන්ද මහරහතන් වහන්සේගේ, අපගේ ද්වීපශාස්තෘ වූ අනුබුදු මිහිදු මහරහතන් වහන්සේගේ මෙන්ම තවත් අරහත් නිකෙලෙස් මහා උත්තමයින්ගේ ශ්‍රී ධාතූන් වහන්සේලා අප ලක්දිව වැඩ සිටින බව ඒකාන්ත සත්‍යයයි.!!!
ඒ සත්‍යානුභාවයෙන් මේ රට තුල පැතිර ඇති මේ භයානක මාරාන්තික වෛරසයෙන් අප මේ ධර්මද්වීපයට සෙත් වේවා.! සෙත් වේවා.! සෙත් වේවා.! සියළු ආරක්ෂාව සැලසේවා.! සියළුම ලක්වැසි ජනයා ආරක්ෂා වේවා.! මේ අපගේ අහිංසක මිනිසුන් ආරක්ෂා කරත්වා.! සියළු දෙවියන්ගේ දේව ආශිර්වාදය ආරක්ෂාව අප මව් බිමට ලැබේවා.! අනේ මේ පුංචි ධාතු කරඬුවක් වන් මගේ මව්බිම ඒ සියළු සත්‍යක්‍රියාවේ ආනුභාවයෙන් සුරැකේවා. සියළු ආරක්ෂාව සැලසේවා.! මේ අනන්ත වූ තිසරණයේ ගුණානුභාවයෙන් සියළු යහපත සියළු ආරක්ෂාව අප මව්බිමට ලැබී මේ භයානක වෛරසය දුරින්ම දුරුවී යත්වා.!!! ඒ සත්‍යානුභාවයෙන් සැමට සෙත් වේවා.!!!

No comments:
Post a Comment