Wednesday, March 11, 2020

නොරොච්චෝලේ ඇත්ත කතාව


නොරොච්චෝලේ ඇත්ත කතාව

මෙරට බලශක්ති ඉල්ලුමට සැපයුම සඳහා මූලික ලෙස ජලය, පුනර්ජනනීය බලශක්තිය, ඉන්ධන බලය මෙන්ම ගල්අඟුරු බලයද දක්වන්නේ ඉමහත් දායකත්වයකි.
ඒ අතර වත්මනෙහි රටේ අඛණ්ඩ විදුලි සැපයුම සඳහා අවශ්‍ය ගිගා වොට් පැය 45න් පැය 19.5ක්ම සපයනු ලබන්නේ නොරොච්චෝල ලක්විජය ගල්අඟුරු විදුලි බලාගාරය බව විදුලිබල මණ්ඩලයේ සංඛ්‍යා දත්තවලින් පෙන්නුම් කෙරේ. මේ අතර ලෝකයේ බලශක්ති දත්ත අනුවද පෙන්නුම් කෙරෙන්නේ ලොව පුරා බලශක්ති සැපයුමෙන්ද 40%ක ප්‍රමාණයක් සපයනුයේ ගල්අඟුරු බවත් ශීඝ්‍ර දියුණුවක් කරා යන බොහෝ රටවල අනාගත බලශක්ති ඉල්ලුම, සැපයීමටද වැඩි ප්‍රතිශතයක් දායක වන්නේ ගල්අඟුරු බවයි.
එවන් තත්ත්වයක් තිබියදී ඉකුත් සමයේ නොයෙක් සංවිධාන, මාධ්‍ය ඇතුළු ඇතැම් දේශපාලනඥයන්ගේ දැඩි විරෝධයක් එල්ල වූයේ රටේ සංවර්ධනයේ මර්මස්ථානයක් වන ලක්විජය විදුලි බලාගාරයටයි. ඒ බලාගාරයෙන් සිදු වන පරිසර හානිය සේම බලාගාරයේ නිතර ඇතිවන දෝෂ පිළිබඳවය.
එවැනි වටපිටාවකදී ඒ බලාගාරයෙන් රටට, ජනයාට සිදු වන්නේ කුමනාකාරයේ සේවයක්ද, බලාගාරයට එරෙහිව අවි අමෝරමින් ජන මත පතුරුවන්නන්ට එරෙහිව එහි සැබෑ තත්ත්වය පහදා දීමේ අරමුණින් මාධ්‍ය දැනුවත් කිරීමක් පසුගියදා විදුලිබල මණ්ඩලය සහ විදුලිබල අමාත්‍යාංශය එක්ව සිදු කැරිණි.
ත්‍රස්තවාදී අරගලයෙන් පසු රටේ ඇති වූ ශීඝ්‍ර සංවර්ධන ක්‍රියාදාමයත් සමඟ ඉහළ ගිය විදුලි පරිභෝජනය වෙනුවෙන් ආරම්භ කළ ලක්විජය බලාගාරයෙන් මේ වන විට සමස්ත විදුලිබල පද්ධතියට මෙගා වොට් 300ක ධාරිතාවෙන් යුත් බලාගාර තුනකින් මෙගා වොට් 900ක ප්‍රමාණයක් එක් කරනු ලබයි.
බලශක්තිය නිපදවන සෙසු ක්‍රම හා සසඳන කල ගල්අඟුරු බලාගාරයක ක්‍රියාකාරිත්වය ඉතාම සංකීර්ණ කාර්යභාරයක් බව අපිද සියැසින් දුටුවෙමු. ඔබගේ අපගේ නිවෙසට, කාර්යාලයට, මඟතොට පහන් දැල්වීමට පමණක් නොව කර්මාන්ත ශාලාවලට සැපයෙන බලශක්තිය වෙනුවෙන් එවන් සංකීර්ණ ක්‍රියාවලියක් සිදු කරන ලක්විජය බලාගාරයේ ප්‍රධානී බලස්ථාන කළමනාකරු ඉන්ද්‍රසිරි ගාල්ලගේ මහතායි. ඔහු සිය බලාගාරය පිළිබඳව අදහස් දැක්වූයේ මෙලෙසිනි.
“අක්කර 272ක භූමියක... සේවකයන් 800ක් පමණ එක්ව මේ බලාගාරයෙන් සිදු කරන්නේ සංකීර්ණ ක්‍රියාවලියක්. මෙයින් මෙගා වොට් 900ක් සැපයීම නිසා අද වන විට ජල විදුලි බලාගාරවලට සෑහෙන පහසුවක් වෙලා තියෙනවා. මේ දිනවල පවතින වියළි කාලගුණයත් එක්ක මේ බලාගාරය නොතිබුණා නම් විදුලිය අත්හිටුවීමක් සිදු වෙන්නත් තිබුණා. ඒ වගේම මෙවැනි සමයකදී ජල විදුලි බලාගාර අඛණ්ඩව ක්‍රියා කළා නම් ජලාශවල ජලය අඩු වෙලා ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙනවා. ඊළඟ කන්නයේ ගොවිතැන් කිරීමටත් එය බලපානවා. ඒ සියලු දේටම විසඳුම් ලැබිලා තියෙන්නෙ මේ බලාගාරය නිසා... ඒ වගේම වියදම පැත්තෙන් බැලුවොත් ජල විදුලියෙන් පසුව ලාභදායිම ගල්අඟුරු. සාමාන්‍යයෙන් අපි ගල්අඟුරු ටොන් එකක් ගන්නෙ රු. 20,000ක් වගේ මිලකට. මේ බලාගාර තුනම දිනක් ක්‍රියාත්මක කිරීමට වැය වන්නේ ගල්අඟුරු ටොන් 7500ක් වගේ ප්‍රමාණයක්.”
නිරීක්ෂණ චාරිකාවේදී අප දුටුවේ එහි ක්‍රියාකාරිත්වය කොතරම් සංකීර්ණද යන්නයි. බලාගාර තුනකින් සමන්විත මෙහි එක් බලාගාරයක හෝ යම් නඩත්තු කටයුත්තක් සිදු වුව හොත් එය ඍජුවම ජාතික විදුලිබල පද්ධතියට බලපාන්නේ අවම මෙගා වොට් 300ක ධාරිතාවක් නොලැබී යෑම නිසායි. එම නිසා බොහෝ දෙනෙක් නිතර චෝදනා කරන්නෙ මෙකී බලාගාර වැඩි දිනක් අක්‍රියව පවතින බවටයි. ඒ පිළිබඳව අපට අදහස් දැක්වූයේ නියෝජ්‍ය බලස්ථාන කළමනාකරු නාලක විජේකෝන් මහතායි. “මෙහෙමයි, සාමාන්‍යයෙන් ඕනෑම බලාගාරයක් කැඩෙනවා. අනෙත් බලාගාරත් මේ වගේම කැඩෙනවා. ඒත් එය ජාතික විදුලිබල පද්ධතියට එතරම් දැනෙන්නෙ නෑ. මෙයින් විශාල මෙගා වොට් ප්‍රමාණයක් එක්කරන නිසයි එය දැනෙන්නෙ. මේ බලාගාරයේ යම් බිඳ වැටීමක් වුණොත් ඊට දින දහයක් දොළහක් කල් ගත වෙනවා යථා තත්ත්වයට පත් කිරීමට. ඒ මැෂින් එකේ තිබෙන රස්නය පහව යන තෙක් අලුත්වැඩියාව කිරීමට බැහැ. මෙහි ගල්අඟුරු පිච්චෙන බොයිලේරුවක උෂ්ණත්වය සෙන්ටිග්‍රේට් අංශක 500ක්. ඒ වගේම මැෂින් එක නැවත පණ ගැන්විය යුත්තේ ඩීසල්වලින්. ඒ සඳහා දින දෙකක පමණ කාලයක් යනවා. අන්න ඒ නිසයි මේක ගැන රටේ ඇතැම් දෙනා දෝෂාරෝපණයෙන් කතා කරන්නෙ. ඒත් ‍මින් සිදු වන සේවය කවුරුත් හිතන්නෙ නැහැ. මොකද අඛණ්ඩව පැය 24 පුරාම මෙවැනි විදුලිය නිපදවීමක් ඩීසල්වලින් කළා නම් මේ වන විට මොනතරම් මුදල් කන්දරාවක් වැය වෙලාද?”
විදුලිබල මණ්ඩල නිලධාරීහු බලාගාරය ආරම්භ කළ දින සිට ගල්අඟුරුවලට වැය වූ මුදල්, නිපදවූ විදුලි ධාරිතාවන් ඇතුළු සවිස්තර තොරතුරු මාධ්‍ය ඉදිරියේ පෙන්වා සිටියහ.
ඒ අනුව 2006 ඉදිකිරීම් ආරම්භ කළ මෙහි සියලු ඉදිකිරීම් 2014 වර්ෂය වන විට අවසන් කිරීමට ඇ.ඩො. මිලියන 1346ක් වැය වී ඇත. චීනයේ එක්සිම් බැංකුවේ මූල්‍ය ආධාර මත චීන සමාගමක් විසින් ඉදි කළ මෙකී බලාගාරයේ සියලු වියදම් ගල්අඟුරුවලින් තොරව ඉන්ධන මඟින් ක්‍රියාත්මක වූවා නම් වැය වන මුදල අතිමහත්ය. ඒ අනුව බලාගාරය ගල්අඟුරුවලින් ක්‍රියාත්මක කිරීම නිසා ගල්අඟුරු හා ඉන්ධන අතර වියදම් පරතරය අනුව 2016 වන විට බලාගාරය ඉදි කිරීමට වැය වූ ඇ.ඩො. මිලියන 1346ක මුදලද පියවාගැනීමට විදුලිබල මණ්ඩලයට හැකියාව ලැබී තිබේ. ලක්විජය බලාගාරය යනු අඛණ්ඩව බලශක්තිය නිපදවීමට ලොව තිබෙන අඩුම පිරිවැයක් සහිත ගල්අඟුරුවලින් මෙරට ක්‍රියාත්මක එකම බලාගාරය වේ.
මෙකී බලාගාරයට රටේ ඇතැම් පාර්ශ්වවලින් චෝදනා එල්ල වන්නේ ගල්අඟුරු නිසා සිදු වන පරිසර විනාශය සහ ගල්ගඅඟුරු බලාගාර ලෝකයෙන් තුරන්ව යන බව පවසමිනි. බලස්ථාන කළමනාකරු ඉන්ද්‍රසිරි මහතා වැඩිදුරටත් කීවේ:
“ඇත්ත, ලෝකයේ තිබෙන ඇතැම් ගල්අඟුරු බලාගාර ගලවලා දානවා. මෑතකදී ඇමෙරිකාවෙත් එහෙම එකක් ගලවලා දැම්මා. හැබැයි ඒ බලාගාරවල තාක්ෂණය පැරැණියි. ඒත් අ‍‍පේ බලාගාරය නිර්මාණය කරලා තියෙන්නෙ නවීන තාක්ෂණය උපයෝගී කරගෙන. පැරැණි බලාගාර නවීන තාක්ෂණයට නිර්මාණය කිරීමට වැය වන පිරිවැය හා සසඳද්දි ගලවලා දාන එක තමයි ලාභම විකල්පය. ලෝකයේ තෙල් අවසන් වුවත් වසර ගණනාවක් යන තෙක් ගල්අඟුරු පවතින බවටයි සොයාගෙන තියෙන්නෙ.”
එල්ල වන පරිසර දූෂණ චෝදනා ගැන පැහැදිලි කළේ බලාගාරයේ පරිසර ඉංජිනේරු චින්තක දිසානායක මහතායි.
“ගල්අඟුරු කියන්නෙ පොසිල ඉන්ධනයක්. අපි ප්‍රයෝජනයට ගන්නෙ වසර මිලියන ගණනකට පෙර ශාක මඟින් අවශෝෂණය කළ සූර්ය කිරණවල ශක්තිය. ගල්අඟුරුවලින් විදුලිය නිපදවීමේදී යම් ආකාරයක පරිසර දූෂණයක් වෙනවා. එය අවම මට්ටමක්. සාමාන්‍යයෙන් නිවෙසක දර ළිපක් ක්‍රියාත්මක වෙනවා නම් එයින්ද පරිසර දූෂණයක් සිදු වෙනවා. එම පරිසර විනාශය අවම කිරීමට ගස් 35,000ක් අවට සිටුවා තිබෙනවා. පරිසර අධිකාරිය ජනාකීර්ණ බත්තරමුල්ල ප්‍රදේශයේ සිදු කළ සමීක්ෂණයක දත්ත හා මේ බලාගාරය අවටින් අයිටීඅයි ආයතනය හා එක්ව අප ලබාගත් සියලු දත්ත සංසන්දනය කර බැලුවා. ඒ සෑම දත්තයකම බත්තරමුල්ල ප්‍රදේශයේ දත්ත හා සසඳද්දි අපේ දත්ත ඉතාම පහළ මට්ටමක තියෙන්නෙ. අපට එල්ල වුණ තවත් චෝදනාවක් තමයි අවට ප්‍රදේශවලට ගල්අඟුරු කුඩු ගසාගෙන යෑම. ඒක වුණේ වාරකන් කාලයට ගල්අඟුරු මේ ස්ථානයට ගෙන ඒමට නොහැකි නිසා. අක්කර 35ක භූමි ප්‍රදේශයක ගල්අඟුරු ගබඩා කර තිබෙනවා. සුළං එන කාලයට කැට ලෙස තියෙන ගල්අඟුරුවලින් දුහුවිල්ල වගේ ප්‍රමාණයක් අවට පැතිරෙනවා. අපි දැන් ඒ ගල්අඟුරු ගබඩා කරලා තියෙන මුළු ප්‍රදේශයම ආවරණය වන පරිදි අඩි 45ක් පමණ උස තහඩුවලින් වටේට ආවරණයක් කරලා තියෙන්නෙ. ඒ වගේම මෙහි දුහුවිලි අනුරාධපුරයටත් බලපානවා කියලා චෝදනාවක් තිබුණා. අපි ඒ පිළිබඳවත් ‍අධ්‍යයනයක් කළා. කිසිම ලෙසකින් මෙහි බලපෑමක් ඒ ප්‍රදේශවලට නැහැ.”
බලශක්තිය නිපදවීමට යොදාගත් ගල්අඟුරු පිලිස්සීමෙන් අනතුරුව ඉවතලන අළුවලින්ද බොහෝ ප්‍රයෝජන ලබාගන්නා බව එම නිලධාරීහු පැවසූහ. අප ගිය මොහොතේ අළු විශාල ප්‍රමාණයක් බලාගාර භූමියේ පසෙක ගොඩගසා තිබෙනු දක්නට ලැබිණි. නාලක විජේකෝන් මහතා ඒ පිළිබඳ පැහැදිලි කරමින්:
“පහුගිය කාලෙ අළු එකතු වුණේම නැහැ. අපේ දත්ත වාර්තාවලින් ඒ බව බලාගත හැකියි (ඒ දත්ත වාර්තා සියල්ල මාධ්‍යයට ඉදිරිපත් කෙරිණි). විදුලිය නිපදවීම උපරිම මට්ටමේ තිබූ අවස්ථාවලත් අළු එකතු වුණේ නැහැ. මේ අළු සිමෙන්ති නිෂ්පාදනයට යොදාගන්නවා. දැනට එකතු වී තිබෙන අළු ප්‍රමාණය චීන සමාගමක් විසින් ලබාගත්තා. ඒ පෝර්ට් සිටි ව්‍යාපෘතියේ ගොඩනැඟිලි ඉදිකිරීම් සඳහා ගඩොල් නිෂ්පාදනයට. ඒත් කොරෝනා ප්‍රශ්නය නිසා චීන ජාතිකයන්ට මෙරටට ඒමට නොහැකි වූ නිසයි අළු යම් ප්‍රමාණයක් එකතු වුණේ.”
විදුලිබල මණ්ඩල නිලධාරින් විමසන්නේ පරිසර ගැටලු සහ වෙනත් සාධක මත ජාතික විදුලිබල පද්ධතියට මෙ.වො. 900ක් අඛණ්ඩව ලබාදෙන රටේ සංවර්ධනයේ මර්මස්ථානයක් බඳු මේ බලාගාරය වසාදමා රට තුළ විදුලි අර්බුදයක් ඇති කරන්නේද? නැති නම් දැනට යෝජනා මට්ටමේ පවතින මෙකී බලාගාරයෙන් උපරීම ප්‍රයෝජන ලබාගැනීමට මීට තවත් මෙ.වො. 300ක ධාරිතාවක් එක් කරනවාද යන්නයි.
“මෙහෙමයි, ජල විදුලිය, ස්වාභාවික වායු, ඉන්ධන, සොලාර්, සුළං බලාගාර සියල්ලම තිබිය යුතුයි. ඒත් ඔබලා දකින්න ඇති මේ අවට තියෙන සුළං බලාගාරවල තත්ත්වය. කලාතුරකින් ක්‍රියාත්මක වන්නෙ. සොලාර් හොඳයි. නමුත් බලශක්තිය රඳවා තබා ගැනීමේ ගැටලු බරපතළයි. ඉන්ධන ඉතාම මිල අධිකයි. ජල විදුලිය අපට ගන්න පුළුවන් උපරීම අරගෙන ඉවරයි. ඒ නිසා ටොල් එකක් රුපියල් විසිදහසක වගේ මිලකට ගන්න පුළුවන් ගල්අඟුරු තමයි අඛණ්ඩ විදුලිය නිපදවීමට එකම විසඳුම.”
ඒ විදුලිබල මණ්ඩලයේ ව්‍යාපාර හා මෙහෙයුම් ක්‍රමෝපාය පිළිබඳ ප්‍රධාන ඉංජිනේරු නොයෙල් ප්‍රියන්ත මහතාගේ අදහසයි.
එසේ නම් රටේ සංවර්ධනයට ඍජුවම උර දෙන නොරොච්චෝල ලක්විජය බලාගාරය දෙස වපරැසින් නොබලා සත්‍ය වටහාගෙන මැදහත් සිතින් බලන ලෙස අපිද සිහිපත් කරමු.

No comments:

Post a Comment

උතුම් තිසරණයෙන් අනන්ත ආනුභාවයෙන් ලක්දිවත් සියළු ජනයාත් ආරක්ෂා වීම පිණිස...

නමෝ බුද්ධාය !!! උතුම් තිසරණයෙන් අනන්ත ආනුභාවයෙන් ලක්දිවත් සියළු ජනයාත් ආරක්ෂා වීම පිණිස... අපගේ භාග්‍යවතුන් වහන්සේ එදා විශාලා මහනුව...